ගෝලීය වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්රතාවය ඉහළ යාම හේතුකොට ගෙන අනාගතයේ දී දකුණු ආසියානු මෝසම් වැසි වඩාත් තීව්ර වනු ඇතැයි එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ නව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
වායුගෝලීය CO2 මට්ටම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ශක්තිමත් මෝසම් වර්ෂාපතනයකට හේතු වන බව දේශගුණික ආකෘති මගින් දක්වා ඇත.
2014 නොවැම්බර් මාසයේදී බෙංගාල බොක්කේ මුහුදු බිමෙන් පර්යේෂකයින් විසින් සොයාගන්නා ලද අවසාදන හා පොසිල සාම්පල, වසර මිලියන ගණනක් තිස්සේ මෝසම් ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවක් ලබා දෙයි.
මෙම අධ්‍යයනය අනුව, පසුගිය වසර 900,000 තුළ මෝසම් වර්ෂාපතනයේ තීව්‍රතාවයේ ඇති වූ වෙනස්කම් වායුගෝලීය CO2 ගණන, මහාද්වීපික අයිස් පරිමාව සහ දකුණු අර්ධගෝලයේ ඉන්දියානු සාගරයෙන් ලැබෙන තෙතමනය යන කරුණු සමඟ සම්බන්ධ වී ඇත.
වායුගෝලීය CO2 ප්‍රමාණය උපරිම මට්ටම්වල පවතින සහ ගෝලීය අයිස් පරිමාව අවම මට්ටම්වල පවතින කාලවලදී වඩාත් තීව්‍ර මෝසම් සුළං සහ වර්ෂාපතනය දක්නට ලැබෙන බව ඔවුහු සොයාගෙන ඇත.
මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය ස්ටීවන් ක්ලෙමන්ස් මහතා “ගෝලීය උෂ්ණත්වය ඉහළ යන විට වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණයද වැඩි වන බව ආකෘති අපට පවසයි” ලෙස ප්‍රකාශ කළේය.
“සාමාන්‍යයෙන්, දැනටමත් ඉහළ වර්ෂාපතනයක් ලබන ප්‍රදේශ අනාගතයේදී ඊටත් වැඩි වර්ෂාපතනයක් ලබනු ඇත. දකුණු ආසියානු මෝසම් වැසි සම්බන්ධයෙන් ගත්කල, එය මෙම අධ්‍යයනයේදී අප දුටු දෙයට සම්පූර්ණයෙන්ම අනුරූප වේ” යැයි ක්ලෙමන්ස් සඳහන් කළේය.
දකුණු ආසියානු මෝසම් කාලය පෘථිවියේ වඩාත්ම ශක්තිමත් වර්ෂාපතන රටාවන්ගෙන් එකක් බව ඔහු පෙන්වා දුන්නේය. සමහර ප්‍රදේශවලට එක් ගිම්හානයක් තුළදී මීටර් කිහිපයක් වර්ෂාපතනයක් දක්නට ලැබෙන බව ඔහු කියා සිටියේය.
මෙම කලාපයේ කෘෂිකර්මාන්තයට සහ ආර්ථිකයට මෝසම් වැසි ඉතාමත් වැදගත් වුවද, අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර සහ බෝග විනාශයන් වැනි ගැටලු ද වාර්තා වී ඇත.
මෝසම් වැසි බිලියන 1.4 කට අධික ජනතාවක ජීවිතවලට ඇති විශාල බලපෑම හේතුවෙන්, දේශගුණික විපර්යාස ඔවුන්ට බලපාන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම ඉතා වැදගත් බව ක්ලෙමන්ස් අවධාරණය කළේය.
ඉන්දික සූරීආරච්චි
hello@indika.click


